Monday, August 27, 2012

අපේ මිනිස්සුන්ගේ දෙශපාලනේ. . .

ලිපියක් ලියන්නේ බොහෝ කාලෙකිනි. වැඩ වැඩි නිසා කියනවාට වඩා  උවමනාව අඩුවීම එයට හේතුව ලෙස පැවසීම සුදුසු යැයි සිතේ. මම  සාමාන්‍යයෙන්  දේශපාලන මාතෘකා ගැන කථා කරන්නට ඉතා අකමැතිය. මා ලියන ඒවා වදින්න ඕනි තැන්වලට දැනෙන්නට  වැදුනහොත් මා වැනි ඉතා ප්‍රාථමික ලියන්නෙකු වෙනුවෙන් වුවද සුදුවෑන් ස්ටාර්ට් වීමට ඉඩතිබෙන හෙයිනි. මේ ටික ලියන්නට හිතෙන්නේ, මා මෑතකදී බසයකින් ගමන් කරද්දී  ඇසූ පිරූ සිද්ධි කිහිපයක් නිසාවෙනි.

සිරි ලංකාවේ ජනතාවගේ දේශප්‍රේමීත්වය, දේශපාලන පරිනත බව ඉතා ඉහල ගොස් ඇතිදැයි මට සිතේ. තවම සිරි ලංකාවේ මිනිස්සු මට්ටු වී නැති ගානය. රට කරන්න කියා පාර්ලිමේන්තුවේ සිටින අපේ මාමලා, නැන්දලා හා තවමත් එහෙට යන්නට බැරි උන අයියලා, අක්කලා ගැනද මාර ෂුවර් එකක් ජනතාවට තිබේ. තවමත් දේශපාලන රැස්වීම් වල, පෙළපාලි වල වෙහෙස නොබලා වෙහෙස වෙන ලොකු සෙනඟක් සිටින නිසාවෙනි මා එසේ කියන්නේ. 

මා විසින් මෑතකදී කියවනු ලැබූ ලිපියක කොටසක් තරමක් වෙනස් කර මෙහි උපුටා දක්වනු කැමැත්තෙමි.

" අපේ ලොක්කාගේ බාලම පුතාය. එංගලන්තයේ විශ්වවිද්‍යාලයක උපාධිය හදාරා ඇත. තව වැඩිකල් යන්නට මත්තෙන්  අභ්‍යවකාශගාමියෙකු බවට පත්වේ. එවිට ලෝකයෙන්ම බිහිවූ ලාබාලම අභ්‍යවකාශගාමියා ඔහු වේ. " 
අපිට සෑහෙන්න ආඩම්බරය. මක් නිසාද යත් ලංකාවෙන් ප්‍රථම වතාවට අභ්‍යවකාශගාමියෙකු බිහිවන නිසාය. ඒත් මට නම් පොඩි දුකක් තිබේ. එවන් වූ ඉහල ගණයේ වෘත්තීන් වලට පත්වීමට කැමති හා හැකියාව ඇති තවත් පිරිසක් ලංකාවේ සිටියද, ඔවුන්ට එංගලන්තයට ගොස් උපාධි හැදෑරීමට සල්ලි නැති වීමයි.  ඒවා වැඩක් නැත. ලොක්කාට සල්ලි තිබේ. ඔවුන්ගේ දරුවන් ඉගනගත්තාම ප්‍රමාණවත්ය. හැමෝම ඉගනගත්ත හොත් සමහර විට අද පාර්ලිමේන්තුව ඇතුලේ සිටින බොහෝ දෙනා එළියට එන්නට ඉඩ තිබෙන නිසා එසේ වීම හොඳය. 

" පැත්ත මාරු කර උපවාස කිරීමට ජීවිතයත් පරදුවට තැබූ මාමා කෙනෙක් වෙයි. දැන්  අතමිට සරු වී කලදවස හොඳ වී තිබේ. වයිෆ් ෂොපින් යන්නේ යුරෝපියන් කන්ට්‍රීස් වලය. යූස් කරන්නේ ස්විස් වෙයාර්ස්ය. ඔහුගේ පුතා ඉගෙන ගන්නේ ස්කොට්ලන්තයේ පුද්ගලික විශ්වවිද්‍යාලයකය "
සල්ලි තිබේ නම් මේවා කලාට අපට කම්නැත. ඒත් ඇමති පඩියෙන් මේවා අරපිරිමසාගන්නා ආකාරය පුදුම සහගතය.   ඒ කාලයේ සරසවි සිසුන්ට පන්තිවර්ජන කිරීමට, පිකටින් වලට, පෙළපාලි වලට  නායකත්වය දුන්නේය. ඔහුත් එක්ක පිකටින් වලට ගිය බාගයකට පමණ අද වන විට අඩුම තරමේ ජීවිතයවත් ඉතිරිවී නැත. අවුලක් නැත. දැන් මේ මාමා ගොඩය.

"අපේ රටේ අධ්‍යාපනයේ නිම් වළලු පුළුල් කර විදේශ සිසුන්ද සිරිලංකාවට ගෙන්වාගත් මාමා කෙනෙක් වෙයි. සරසවි වල පන්තිවර්ජන, විරෝධතා වලට ඒ කාලේ බැහැලාම වැඩ කල අයෙකි. දැන්නම් ඒවා මතකදැයි අප දන්නේ නැත."  
මොනවා වුනත් එකය. ඔහුගේ දරුවන් ඕස්ට්‍රේලියාවේ සරසවි වල අධ්‍යාපනය ලබති. ඔවුන්ට නම් මහපොළ අවශ්‍යනැතුවා වන්නට පුළුවන.

"වැඩිය පවර්ස් නැති පක්ෂයක නායකයාය. ඒත් තවමත් සරසවි වල පන්ති වර්ජන, විරෝධතා මෙහෙයවන්නට සුපිරි පවර් එකක් ඇත. ඒ කාලයේද මෙවැනි ක්‍රියාවලදී කැපීපෙනෙන කාර්යභාරයක් ඉටු කලේය." 
මොහුටද පුතෙක් සිටී. එංගලන්තයේ පුද්ගලික සරසවියක උපාධිය හදාරමින් සිටී. ඔහුට නවක වධය නැත. පන්ති වර්ජන වලින් තොර එකදිගට ඉගනගන්නට හැකි සරසවි දිවියක් පියා විසින් දායාද කර ඇත.

"තවත් මාමලා බොහෝ දෙනෙක් සිටී. ඔවුන්ගේ දරුවන් ඉගෙනගන්නේ ලන්ඩන් කැම්පස් වලය. එහෙමත් නැත්නම් ඇමෙරිකන් යුනිවර්සිටීස් වලය. වෙඩින් ගන්නේ නිව්යෝර්ක් වලය. බර්ත්ඩේ පාර්ටි ගන්නේ මෙල්බර්න් වලය.  නෑදෑයන්ට තෑගි දෙන්නේ විදේශ තානාපතිකම් වලින්ය. රටට කරනවා කියා බොරුවට දැඟලුවාට කරන හොඳක් නැත. තමන්ගේ පිරිසට නම් මොනවා හෝ කර ගනී."

"තවත් සමහර මාමලාට දරුවන් නැත. හිටියා නම් මෙම ලිපියට තවත් පේළි දෙක තුනක් එකතු වන්නට ඉඩ තිබිණි."

නම් ගම් සහිතව තව බොහෝ දේවල් කිවහැකිය. එහෙත් මා තවම ලෝකය දැක අවසන් නැත. එසේම මාගේ මා පියන් දෙදෙනාටද ඉතා යහමින් මිල මුදල්ද නැත. එබැවින් මෙයින් නිහඬ වීම සුදුසුය.

"තවත් මාමලා, නැන්දලා පිරිසක් සිටී. අනේ මේ අපේ සෝමපාල, ඇල්බට්, ගුණදාස මාමලාය. ඩිංගිරි මැණිකේ, පොඩි මැණිකේ, දයාවතී නැන්දලාය. ඔවුන් අමාරුවෙන් තමාගේ ශ්‍රමය කුණුකොල්ලයට විකුණමින් කීයක් හෝ උපයා ගනී. නොකා නොබී හෝ තමාගේ දරුවන් රජයේ විශ්වවිද්‍යාලවලට යවයි. එම දරුවන්ට නවක වධ අඩු පාඩු නැතුව ලැබේ. පන්ති වර්ජන අත පුරෝලාය. අවුරුදු 4 උපාධිය අවුරුදු 5 ක් 6ක් ගතකොට ලබාගනී. උපාධිය බෙල්ලේ එල්ලාගෙන එනවිට රැකියා හොයාගන්නට නොහැකිය. වයසත් වැඩි නිසා පෞද්ගලික අංශයේ රැකියා කිරීමටද නොහැකි වේ. බෙල්ලේ එල්ලාගෙන ආ උපාධිය බිත්තියේ එල්ලා හේනේ කුඹුරේ වැඩට බහින්නට සිදුවේ." 
මෙතනදී නම් අපට සතුටු නැත. පැහැදිලි අසාධාරණයක්ද පෙනේ. ඒත් ඒ අපේ ඇස් මොළ වලට පමණි. වගකිවයුත්තන්ගේ තියන්නේ වෙනස් වර්ගයේ කණිනිකා නිසා මෙවන් අසාධාරණ පෙනෙන්නේ නැතිය.

උපුටා ගැනීම අවසන්.


දැන්වත් ජනතාව තේරුම් ගත යුතුය. දේශපාලකයන් පාර්ලිමේන්තුවට යවා කට ඇරගෙන බලන්හිටියාට අපට ලැබෙන දෙයක් නැත. මේවා මෑත කාලයේදී හොඳට තේරුම් ගත හැකිය. එත් මට ඇති පුදුමය නම් තවමත් ඔවුන්ව විශ්වාස කරමින්, තමන්ගේ යහපත උදෙසා කුමන හෝ කාර්යයක නොයැලී දේශපාලන රැලි පෝෂණය කරන්නට ජනතාව රෙදි උස්සාගෙන දිවීමය. දේශපාලන රැලි වලදී මිනිස්සුන්ට ආතල් ලැබේ.  ටික වෙලාවකට හෝ සුරංගනා ලෝකයක ජීවත් වන්නටය ඒ. සැබෑ ජීවිතයේදී ලඟාකර ගැනීමට නොහැකි දේවල් කථාවෙන් හෝ විඳගෙන සැනසෙන්නට කැමති නිසා මේවා අසන්නට යනවාදැයි මම දන්නේ නැත.



    

4 comments:

  1. කාලෙකට පස්සෙ ඔයාගෙ ලිපියක් පළවෙලා තියෙනවා දැක්කම හරිම සතුටුයි.. බ්ලොග් ලෝකෙ මාව දිරිමත් කළ පළමු පුද්ගලයා නිසාම නෙවෙයි මම ඔයාට ගරු කරන්නෙ මේ සමාජය හරියට කියවගෙන, අනිත් අයගෙ ඇස් ඇරෙන විදියට ලියන්න උත්සාහ කරන කෙනෙක් නිසයි ....
    ඔයා මේ ලියල තිබුණ ලිපිය අපිත් බැලුවා අන්තර්ජාලයෙන්... ඇත්තටම අපි දේශපාලනිකව කොයි තරම් මෝඩද? අන්ධයොද? කියන එක මේ කාරණය විතරක්ම ගත්තත් වැටහෙනවා... දුකක් දැනෙනවා අපේ රටේ දුප්පත් දරුවන්ගෙ අනාගතය ගැන... හැම ඉහළ වරප්රවසාදයක්ම ඇති හැකි අයට විතරයිනෙ... දුප්පතුන්ට යම් තරමක හරි ආලෝකයක් පෙණුනෙ නිදහස් අධ්යාකපනයෙන් විතරයි... දැන් නම් එහෙම දේකුත් ලංකාවෙ නෑ...
    අපිට වෙන්නෙ මොකක්ද කියන එක ගැන හිතන්නෙ නැතිව සුළු සුළු පෞද්ගලික ලාභ ප්රියෝජන නිසා මිනිස්සු දේශපාලඥ වන්දනාවෙ යනවා.... අපි අපේම වල කපා ගන්නවා වගේ වැඩක්...
    ඔයා දිගටම ලියන්න ඕන කෙනෙක් කොහොම හරි වෙලාව හොයාගෙන.... සුදු වෑන් කතාව නම් ඇත්ත... ඒත් අපි නොලිය ඉන්නෙ කොහොමද?

    ReplyDelete
    Replies
    1. ආහ් ! මම හිතුවේ නෑ තරුරසී බ්ලොග් ගැන අවධානයෙන් ඉන්නෙ කියලා.
      වෙලාව නැති වුණත් ලියන්න ඕනිම කියලා හිතෙන දේකට මම කොහොම හරි වෙලාව හොයා ගන්නවා. එහෙම නැතුව මේ මිනිස්සු කරන මෝඩකම් දිහා බලාගෙන විතරක් ඉන්න බෑනේ.
      ස්තුතියි බ්ලොග් එක පැත්තෙ ආවාට.

      Delete
  2. මේක උපුටා ගැනීම ටික මත දැක්ක ෆ්බ් එකේ. ඇත්තටම අදහසනම් සම්පූර්ණ ඇත්ත. මේවා ටිකක් හරි තේරුම් ගන්න මිනිස්සු දැන් ඉන්න බවත් පේනවා (අපි වගේ). එකත් ලොකු දෙයක් ඇත්තටම. අනාගතේ සුබදායි විය හැකියි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කසුන් මල්ලි අදහස් දැක්වුවාට.

      Delete