Sunday, April 1, 2012

තනිකම


  මාතෘකාව බැලුව ගමන් ගොඩක් අයට හිතෙනවා ඇති මහ එපා කරපු දෙයක්නේ තනිකම කියන්නේ කියලා. ඒත් මම මේ කියන්න යන්නේ මට තනිකම කියන එක පේන වෙනස් විදිහක් ගැන.
අපි පොඩ්ඩකට කල්පනා කරලා බලමු අපි පුංචි කාලේ ගෙදරට වෙලා තනියෙන් හිටපු වෙලාවක්, හරියටම මතක් කර ගන්න පුළුවන්නම් ඔයාලට මතක් වෙනවා ඇති ගෙදරට කවුරු හරි එනකන් ගත කරපු කාලය මහ මෙරක් වගේ කියලා. ඇයි ඒ එහෙම වුණේ ? අපි ගෙදර තනි වුනහම සෙල්ලමට කතා කර ගන්න සහෝදර සහෝදරියෙක්වත් නෑ, කොච්චර එපා කිව්වත් ඒ එපා කියන දේම කරලා බැනුම් අස්සව ගන්න වෙන කිසිම කෙනෙක් නෑ. ඉතින් තනියෙන් සෙල්ලම් කරන්න තිබුනනේ ? ඒත් ඒ දවස් වල මොකක්ද වගේ නේ ? මොකෝ හොරෙන් හරි බලන් ඉන්න කවුරුවත් නෑනේ. පොඩි කාලේ දැනෙන තනිකම මොකක්ද කියලා හරියටම තේරුම් අරගෙන ලියන්න ආයිත් පුංචි කාලෙට යන්න වෙනවා. ඒක ඉතින් කරන්න බෑනේ. තනිකම ගැන මට හිතෙන දේවල් ටිකක් කියන්නයි මේ ලිපිය ලියන්නෙ.
                                                                                 අපිට තේරෙන කියන කාලේ (ඒ කියන්නේ අවුරුදු 15-16 වගේ) වෙනකොට, තනිකම දැනෙන්න තේරෙන්න පටන් ගන්නේ අපි ලඟ ඉන්න අය ටික ටික ඈතට යනකොට නේ ? ඔය දේ එක එක්කෙනාට දැනෙන විදිහ වෙනස් වෙන්න පුළුවන්. ඒත් මේ තනිකම කියන දේ ඇතුලේ ගොඩක් අයට තියන්නෙ දුකක්. ඒක හින්දා තමයි ඔය ආදරේ කරන ගොඩක් දෙනා, ආදරේ කරන කාලේ විරහව කියන්නේ මොකක්ද කියලවත් දන්නෙ නැතුව ඉඳලා ආදරේ අහිමි වෙච්ච දාට විඳවන්නේ ඒ විරහ වේදනාවයි තනිකමයි තමා. ඕන්න ඕක නිසා තමා මම කිව්වෙ, තනිකම ඇතුලෙ තියන්නෙත් දුකම තමා කියලා. ඔය දුක හිතෙන්න තියන ප්‍රධාන ප්‍රශ්ණය තමා අපි වටා තියන බැඳීම්. ගෙදර, පාසල, රැකියා ස්ථානය වගේ තැන් වලදී අපි ගොඩක් වෙලාවට හිතනවා, මට දෙමවුපියෝ  යාළුවෝ දන්න කියන අය හැමෝම මා වෙනුවෙන් ඉන්නවා කියලා. ඒත් මේ හැමෝම අපි තනිවෙච්ච වෙලාවට අපෙන් ඈතට යනකොට, වචනයකින් හරි උදවුවක් කරන්න කවුරුවත් ලඟ නැතිවෙනකොට තනිකම කියන එක තුල තියන දුක කියන දේ හොඳට තේරෙනවා. 
                                                      හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියනවා. තනියෙන් ඉපදෙන්න හොඳයි, තනිකම බදාගෙන මැරෙන්නත් හොඳයි. ඒ වුණාට අපි ගැන හොයලා බලන්න කවුරුහරි නැතිවෙන කොට අපිට දුකයි. මේක මාර කෙරුවාවක්නෙ බලාගෙන යනකොට. ඇයි අපිට තනිවෙච්ච වෙලාවට හිත හදාගන්න බැරි, මේ ලෝකෙ ගොඩක් මිනිස්සුන්ට කොයි හරි වෙලාවක තනිකමක් දැනෙනවා කියලා. මෙහෙමයි, හැමෝම කැමතියි තමන් දන්න කියන යහළු හිතමිත්‍රාදීන් එක්ක කයියක් දාගෙන, තියන දෙයක් කාල, බජව්වක් දාල ෆන් එකේ ඉන්න. ඒත් ඉතින් හැමදාම ඕක කරන්න බෑනේ අප්පා. ඉගනගන්න ඕනි, රස්සාවක් කරන්න ඕනි, කසාදයක් බඳින්න ඕනි, ලමයි හදන්න ඕනි උන්ව ලොකුකරලා උගන්නන්න ඕනි. ආයි උන්ගෙ ලමයින්ව නළවන්නත් ඕනි සහ etc. පිස්සු හැදෙනවා නේ. ජීවතේ මෙහෙමද කියලත් හිතෙනවා. ඔව්, මූලිකවම ගත්තහම ඔය භෞතික කාර්යන් ටිකට ගොඩක් අය මුහුණ දෙනවා.
                                         එතකොට අපි ගොඩක් අයට එකපාරට ප්‍රශ්ණයක් එනවා, ඈ යකෝ එහෙම බලාගෙන ගිහාම ඔය තනිකම කියන මගුලට කැමති එවුන් ඇත්තෙම නැද්ද කියලා. සරලම පිළිතුර, ඕනි තරම් ඉන්නවා. ඇයි පොත් ලියන මිනිස්සු, චිත්‍ර අඳින මිනිස්සු, මහා විද්‍යාඥයෝ, කවි ලියන අය සහ එකී නොකී ගොඩාක් අය ඉන්නවා. එච්චර ඕනි නෑ, සමහර විට මේක කියවන ඔබත් තනිකම කියන දේ එන්නෙ කොයිවෙලාවෙද කියලා බලාගෙන ඇති. ඔය ගොඩාක් ශ්‍රේෂ්ඨ නිර්මාණ බිහිවෙලා තියෙන්නේ, කණ්ඩායමක් එක්ක කරලම නෙමෙයි, එහෙම බිහිවුණත් ඔය දේට මූලික අදහස එන්නෙ කවුරුහරි තනියම ඉඳගෙන වෙනස් විදිහකට කල්පනා කර කර ඉන්න කොට. ඒ වගේම ගොඩාක් ශ්‍රේෂ්ඨ මිනිස්සුත් තමන්ගේ නිර්මාණ බිහි කරලා තියෙන්නේ තනියම. එයිනුත් ගොඩක් අය අවිවාහකයො. එහෙමත් නැත්නම් විවාහ වෙලා තියන්නෙ ගොඩාක් වයසට ගිහිල්ලා. දැන් කවුරුහරි කියයි. ඔය ශ්‍රේෂ්ඨයි කියන ගොඩක් අය කසාද කිහිපයක්, කසාද බැඳලා ඉන්න ගමන් අනියම් සම්බන්ධතාවයක්, එහෙමත් නැත්නම් ලමයි 7ක් 8ක් හදලා තියෙන්නේ තනියෙන්ම ඉඳලා වෙන්ඩ ඇති නේද කියලා (උදා. ඇල්බර්ට් අයින්ස්ටයින්, තව නම මතක නැති චිත්‍ර ශිල්පීන් දෙන්නෙක්, etc.). ඒක නම් මටත් ලොකු ප්‍රශ්ණයක් තමා. මට නම් හිතෙන්නේ ශ්‍රේෂ්ඨ නිර්මාණ කරන කාලේ තනියෙන් ඉඳපු ඒවයේ ඇරියස් අල්ලනවා වෙන්ඩ ඇති.                                            
       මම මේ ලිපිය ලියන්න ගොඩක්ම හේතු වුනේ, "අද තනියෙන් අප්පා, මාර කම්මැලියි" කියලා කියන, දුක්වෙන අයට උත්තරයක් හොයන්න හිතාගෙන. මම හැමවෙලාවෙම අදහන දෙයක් තමයි, ජීවිතයට ස්වභාවිකව සිදුවන ගොඩාක් නොගැලපීම්, හැලහැප්පීම් වලට සොබාදහමෙන්ම අපූරු උත්තරත් හොයලා දීලා තියනවා නේද කියලා. සොබාදහමත් එක්ක ජීවිතය විඳීම ගැනත් වෙනම පෝස්ට් එකක් ලියන්න හිතන් ඉන්නේ, ඒකත් හෙමීට සම්පූර්ණ කරලා දාන්නම්කෝ. ඒකෙන් මේකෙන් වැඩක් නෑ. මමත් වල්පල් කියන්න ගිහාම අගමුල මතක නෑ නේද ? ආයිත් මාතෘකාවට එමුකෝ. මම උඩදී කිව්වා වගේ තනිකම විඳින්න කැමති අයත් ඉන්නවනේ. සමහරු හිතන්න පුළුවන්, තනියෙන් ඉන්න වෙලාවට මොකෝ අපි පොත් ලියන්නයැ, කවි ලියන්නයැ, අඩුම තරමෙ කවියක් කියන්නවත් පුළුවනෑ කියලා. ඉතින් ඇයි අපිට බැරි පරිසරයේ තියන මොකක් හරි දිහා බලලා රස විඳින්න, යම්කිසි සිදුවීමක් ගැන නිස්කලංකව කල්පනා කරන්න, දැනුම ටිකක් වැඩිකරගන්න පොතක් පතක් කියවන්න වගේ දෙයක් කරන්න. පුළුවන් නේ ?.
                                                                                          ඔන්න තව කවුරුහරි කියයි, මම නම් තනි වුණාට මට ප්‍රශ්නයක් නෑ. ගෙදර අය, අරයා, මෙයා  තනියෙන් ඉන්නෙ කොහොමද කියලා. දැන් හිතමුකෝ අපිට ඔය හැමෝම දාලා මේ ලෝකේ අතඇරලා යන්න වුණා කියලා. වෙනවටම නෙමේ නිකං හිතමුකෝ (බය වෙන්න කාරි නෑ ඕං, අපි හැමෝටම මේ ලෝකේ අත අරින්ඩ වෙනවා ආයුබෝවන්ඩ. hikz). ඔන්න එතකොට අර මුලින් කියපු අය සදහටම තනි වෙලාද ? ඒ අයටත් සතියක්, දෙකක් ඔය තනි කම තියෙයි. ඊට පස්සේ එයාලත් තනිකම නැතිකරගන්න වෙනත් සබඳතා ගොඩනගාගනී. ඒවා ඉතින් කොහොමත් ස්වභාවිකයිනේ. ඉතින් අපි මේ අවුරුදු කීපයකට, මාස දෙක තුනකට කොහේ හරි තනියෙන් ඉන්න සිද්ධ වෙන එකට මොකට දුක් වෙනවද. අපිට කොච්චර අය හිටියත් මිනිස්සු විදිහට අපි හැමදාම තනිවෙලා, ඒක තමා පිළිගත්තත් නැතත් ඇත්ත. ඒක හින්දා තමා කියන්නේ තනියට, දුකට, සැපට මේ ඔක්කෝටම හොඳම හිතවතා තමන්ම කරගන්න කියලා.
                                                                                                  මම මේ මෙච්චර වෙලා කියන්න උත්සාහ කරපු දේවල් වලින් ෂෝර්ට් නොර්ට් එකක් ගැහුවොත් කියන්න තියෙන්නේ,  තනිකම දරාගන්න බැරිතරමට තනි වුණත්,  මුහුදේ පනින්න, වහ බොන්ඩ, ජීවිතේම නීරසයි කියලා හිතන්න ඕනි නෑ. දැන් දන්නවනේ අපි හැමෝම ඇත්තටම තනිවෙලා කියලා. අපි තනිකම කියන දේ  හරියට විඳින්න ඕනි, එතකොට ඔබට ඕනිම දෙයක් තනියෙන් කරන්න ආත්ම විශ්වාසය නිකංම හම්බවෙනවා. අන්න ඒක තමා තනිකමේ වටිනාකම. 
එතකොට ජීවිතේදි අපි හැමදාම දිනුම්.


 

3 comments:

  1. තනිකම විඳින්න පුළුවන් සුන්දරව...
    ඒ විඳීමත් කලාවක්....
    පොතකින්... කවියකින්.... සිතුවමකින්...
    ගීතයකින්....
    ඇලකින්... දොලකින්... වනමලකින්...
    කුරුළු නදකින්.... ඒ තනිකම සුන්දර වනු ඇත...
    එසේ නොවන්නේ නම්,
    තනිකම දුකක්, වධයක්, කරදරයක්
    වනු ඇත නිසැකවම.....
    හුදකලාවද කලාවකි... සොඳුරුතම....

    ReplyDelete
  2. Aththa thama...Hariyata baluwoth thamanta inne thaman witharai.Good luck.

    ReplyDelete
  3. ස්තුතියි හැමෝටම අදහස් දැක්වූවාට.

    ReplyDelete